පියාගේ පාංශුකූලයට වෙලාවට වැඩම නොකළැයි – දුවල පුතාලා පන්සලට ගිහින් හාමුදුරුවන්ට ගහලා!

දෙහිවල නැදිමාල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක පාංශුකූලයට භික්ෂුන් වහන්සේලා වැඩමවීම ප්‍රමාද වීම පිළිබඳව උරණ වූ නිවැසියන් විහාරස්ථානයේ වැඩවසන භික්ෂුන් වහන්සේලා තුන්නමකට පහර දීමෙන් එක් භික්ෂුවක් රෝහල් ගත කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එම නිවසේ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු දෙහිවල පොලිසිය විසින් ඉකුත් 01 දා රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමට සම්බන්ධ දෙහිවල හා පිළියන්දල පදිංචිව සිටින වයස අවුරදු 38 ක් සහ 49 ක් වන කාන්තාවන් දෙදෙනකු හා එම නිවසේ එකම පවුලේ වයස අවුරුදු 19 – 24 ත් අතර පසුවන පුද්ගලයින් දෙදෙනකු බව පොලිසිය කියයි.

මෙම නිවසේ පියාගේ අවමංගල්‍ය කටයුතු 01 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ අතර නිවැසියන් ඒ සඳහා කල්වේලා ඇතිව දෙහිවල නැදිමාල සුනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට ආරාධනා කර තිබිණි. එදින පාංශුකූල කටයුතු සූදානම් කර තිබුණත් ස්වාමීන් වහන්සේලා මදක් ප්‍රමාද වී වැඩමවීම සම්බන්ධයෙන් නිවැසියන් උරණව සිට ඇති අතර පසුව එදින රාත්‍රි විහාරස්ථානයට ගොස් එහි වැඩ සිටි භික්ෂුන් වහන්සේලා තුන්නමකට පහරදී ඇත. පහරදීමෙන් එක් භික්ෂුන් වහන්සේ නමකගේ බෙල්ලේ සිදුවූ ආබාධ තත්ත්වයට ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කරති.

රත්මලාන – පින්සිරි ආරියරත්න

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by